මගේ 18 වෙනි උපන්දිනේ දවසෙ තමයි ChatGPT ආවෙ.

හලෝ කට්ටිය. මේ Talk එක AI ගැන. මම ගැන. මේ දෙක කොහොමද එකම පාරක ආවේ කියන එක ගැන.
අපි කතාව මුලින්ම පටන් ගමු.
මම හරි අමුතු විදිහෙ Curious ළමයෙක්. ලොකු මිනිස්සු ආස කරන, කීකරු, ඔලුව අතගාන්න පුළුවන් ජාතියේ එකෙක්. මට හැමදේම වැඩ කරන විදිහ හොයන්න ඕනෙ වුණා. මගේ වටේ හිටපු අයට මාව දැකලා Exhaust වෙන්න ඇති. මට මාරම Imagination එකක් තිබුණා. ලෝකෙ බැරි දෙයක් නෑ කියන Delusional විස්වාසෙ මට පොඩි කාලෙ ඉඳන්ම තිබුණා. අදටත් මම ඒක කරපින්නාගෙන යනවා.
මම හැදුණු ගෙදරට මුල් කාලෙ කරන්ට් එක තිබුණෙ නෑ. ටැප් වතුර තිබුණෙත් නෑ. අපිට තිබුණෙ ළිඳක්. මගේ අම්මයි ආච්චියි එච්චර හයිය ගෑනු වුණේ මේ ළිඳ නිසා වෙන්න ඇති. රෑට එළියට අපිට තිබුණෙ පෙට්‍රල්මැක්ස් ලාම්පුවක්. ඒක භූමිතෙල් වලින් වැඩ කළේ. එක දිගට දවස් හතක් නිවෙන්නෙ නැතුව ඒක පත්තු වෙනවා. අපේ සීය තමයි ඒක පත්තු කරන්නෙ. එයා කවදාවත් මට ඒක අල්ලන්න දුන්නෙ නෑ. මම නිකන් බලාගෙන ඉන්නවා. ඒක හරියට මාර Ritual එකක් වගේ. පත්තු වෙන දියරයක්, එළියක් වගේ මාර Clean දෙයක් වෙන විදිහ මට මැජික් එකක් වුණා.
(මේක දැකල නැති කෙනෙක්ට, ඒක හරියටම මේ වගේ)
දවසක් අපේ ගෙදරට කරන්ට් එක ආවා.
මට මතකයි තාත්තා තනියම Wiring ඔක්කොම කළා. ඒ පලවෙනි Light bulb එක පත්තු වෙනකොට, මගේ ඔළුව ඇතුළෙ මොකක්දෝ පත්තුවුණා. අපිට මේක කරන්න පුළුවන් නම්, තව මොනවද අපිට කරන්න පුළුවන්? මගේ පොඩි ඔළුවට සිවිලිමක් තිබුණෙ නෑ. මට මේ ලෝකෙ ඕනෙම දේකින් මොනවද ඕනෙ කියලා අම්මා අහපුවාම, මම ඉල්ලුවෙ දේවල් දෙකයි: මට ඕනෙ වෙලාවට වැස්ස නවත්තන්න Switch එකක්. අනිත් එක තාත්තව වැඩ ඇරිලා ගෙදර ගේන්න Switch එකක්. පස්සෙ මට තේරුණා අපේ තාත්තට ඒ Switch දෙක ගන්න සල්ලි නෑ කියලා. කොයි තාත්තටවත් ඒක බෑ.
හැබැයි, මගේ ඇතුළෙ තිබ්බ ඒ 'ඕනෙ' කියන ගින්දර කවදාවත් නිවුණේ නෑ.
පහ වසර වෙනකොට මම Science experiments එක්ක පිස්සුවෙන් වගේ හිටියෙ. චුම්බක. විදුලිය. කරන්ට්. Biology. මම ආස වුණේ දේවල් වැඩ කරන විදිහට විතරක් නෙමෙයි. ඒව මුලින්ම හොයාගත්ත මිනිස්සුන්ට. ලෝක ඉතිහාසෙ කවුරුවත් දැකපු නැති දෙයක් මුලින්ම හොයාගන්නකොට ඒ මනුස්සයට කොහොම ෆීලින් එකක් එන්න ඇතිද? මම Biographies කියවන්න පටන් ගත්තා. ගොඩක්ම විද්‍යාඥයන්ගෙ. ඒක මගේ Habit එකක් වුණා.
අට වසරෙදි අලුත් දෙයක් වුණා. ඉසිවර කියන මගේ යාළුවා මාව ඉස්කෝලෙ Software Club එකට ඇදන් ගියා. ඒකෙ තිබුණෙ ටේලර් කියන ඇමරිකන් ගෑනු කෙනෙක්ගෙ Tutorial videos වගයක්. ඒ ඇමරිකන් Accent එක ඒ කාලෙ මට මාර නුපුරුදුයි. එයා ඉගැන්නුවෙ Google CS First. ඒ කියන්නෙ Scratch වලින් හදපු ප්‍රෝග්‍රෑම් එකක්. Game design. මම ඒකට එකපාරම Hook වුණා. වෙන කවුරුත් ට්‍රයි කරන්නත් කලින් මම Game designer කෙනෙක් වෙයි කියලා මටම හිතුණා.
හැබැයි Academics වලට වෙන ප්ලෑන් එකක් තිබුණා. O/L කාලෙ මාව ස්ක්‍රීන් වලින් ගලවලා පොත් අස්සට ඔබලා දැම්මා. ටික කාලෙකට Technology එක පිටිපස්සෙ සීට් එකට ගියා. ඒ කාලෙ මාව අල්ලන් හිටියෙ පොත් කියවන එක. ගොඩක්ම Science පොත්. ඒකෙන් එකක් තමයි හැන්නා ෆ්‍රයිගෙ "Hello World".
ඒ පොතෙන් තමයි මගේ AI පිස්සුව හරියටම පටන් ගත්තෙ. ෆ්‍රයි ලිව්වෙ AI වල History එක ගැන. ඒක ඒ වෙනකොටත් ලෝකෙ නිශ්ශබ්දව වෙනස් කරලා තියෙන විදිහ ගැන. එයා ඒක මාර Human විදිහට ලිව්වා. හැබැයි ඒක කියෙව්වට පස්සෙ මට ආවෙ මාර Frustration එකක්. මේ Field එක මාර Slow. සල්ලි නෑ. හරියට නිකන් කොළඹ ඉඳන් නුවරට Intercity එකක යන්න ඕනෙ ගමනක්, පරණ පෙට්ටි කෝච්චියක යනවා වගේ.
2022 අන්තිම කාලෙ වෙනකොට මම උසස් පෙළ භෞතික විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නා අතරතුර, විෂය නිර්දේශයට කිසිම සම්බන්ධයක් නැති අදහස් පස්සේ එලවමින් මගේ MacBook එකත් එක්ක ඕනෑවට වඩා කාලය ගත කරමින් හිටියා. ඒ අතරතුර මම හෙව්වෙ මට ලස්සනට ලියන්න උදව් වෙන Tool එකක්. මොකද මම ලියනකොට වෙන වැරදි මටම පේනකොට මගේ Thought process එක මැදින් කඩලා යනවා. ඒ හෙවිල්ල මාව අරන් ගියේ OpenAI එකට. මට හම්බුණා පරණ GPT එක. Topic එකක් දුන්නහම ඒක Essay එකක් ලියලා දෙනවා. ඇත්තටම ඒක Useful. ලොකු මැජික් එකක් නෙමෙයි, හැබැයි Useful.
ඊට පස්සෙ 2022 දෙසැම්බර් වල, එයාලා ChatGPT Release කළා.
ඇත්තටම ChatGPT Launch වුණේ නොවැම්බර් 30. හැබැයි දෙසැම්බර් පලවෙනිදා සෑම් ඔල්ට්මන් ඒක ගැන Tweet කළා. දෙසැම්බර් පලවෙනිදා කියන්නෙ මගේ 18 වෙනි උපන්දිනේ. මම ටික කාලෙකට මේක දැනගෙන හිටියෙ නෑ. හැබැයි මම ඒක දැනගත්තහම මට හිතුණෙ මේක Universe එක මට කරපු ජෝක් එකක් කියලා. පස්සට හැරිලා බලනකොට විතරක් තේරෙන ජාතියෙ ජෝක් එකක්.
මට මතකයි ඒ මුල් දවස්වල මම ඒකත් එක්ක සෙල්ලම් කරපු විදිහ. මට ඒකෙ Architecture එක ගැන කිසිම තේරුමක් තිබුණෙ නෑ. ඉස්සරහට එන්න තියෙන දේවල Full scale එක මම කොහොමත් දැක්කෙ නෑ. හැබැයි මම දැනගෙන හිටියා මේක මාර Fun කියලා. මම මේ ගැන මගේ කිට්ටුම යාළුවා ටාරා එක්ක Talk එකක් දැම්මා. AI එකකට ඇත්තම Conversation එකක් කරන්න පුළුවන්ද කියලා අපි ගොඩක් කල් ඉඳන් කතා වෙවී හිටියෙ. මෙන්න උත්තරේ, නැත්තම් උත්තරේක පටන් ගැන්ම. මම ඇයටත් ඒක පෙන්නුවා. ඇයත් මම වගේම Surprise වුණා.
එදා ඉඳන් මම AI එක්ක ගොඩක් කල් ගත කළා. Coding වලට, ලියන්න, අලුත් දේවල් Build කරන්න. ඒ කාලෙ මට එක දෙයක් තේරුම් කළා. ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරන්නෙ කොච්චර වැරදි විදිහටද කියන එක.
හැමෝම කරන ලොකුම වැරැද්ද තමයි මේක Source of Truth එකක් විදිහට පාවිච්චි කරන එක. මේක එහෙම එකක් නෙමෙයි. ඇත්තටම ගත්තොත්, Large Language Model එකක් කියන්නෙ මාරම පට්ට Pattern machine එකක් විතරයි. ඒක ට්‍රේන් කරලා තියෙන්නෙ ලොකු Text ගොඩක් පාවිච්චි කරලා. ඔයා Prompt එකක් දුන්නහම, ඒක කරන්නේ ඒක ඉගෙනගත්ත දේවල් වලට අනුව ඊළඟට එන්න පුළුවන් ගැලපෙනම වචන ටික Statistically පෙළගස්වන එක. ඒක මාරම Impressive දෙයක් තමයි. හැබැයි දේවල් දන්නවා කියන එකයි, මේකයි කියන්නෙ දෙකක්. මේ ඔක්කොම ලොකුවට කරන්න පුළුවන් වුණේ Google ලගෙ 2017 Paper එකක් වුණ 'Attention Is All You Need' එකේ කියල තියෙන Transformer architecture එක නිසා. හැබැයි Architecture එකයි Accuracy එකයි කියන්නෙ එකක් නෙමෙයි.
මේකෙ තේරුම් ගන්න ඕනෙ Failure modes දෙකක් තියෙනවා:
- Hallucination: මොඩල් එක බොරු දෙයක් මාර Confident විදිහට කියන එක. මොකද ඒක Optimize කරලා තියෙන්නෙ ඇත්ත වගේ පේන්න මිසක්, හරි දේ කියන්න නෙමෙයි.
- Misaligned specification: මේක ටිකක් Philosophical ප්‍රශ්නයක්. ඔයා සිස්ටම් එකකට කිව්වොත් "ලෝකෙ තියෙන ඔක්කොම නරක දේවල් අයින් කරන්න" කියලා, ඒක Constraints නැතුව හිතලා ඔයාට ඕනෙ නැති තීරණයකට එන්න පුළුවන්.
මේ දෙකම AI පාවිච්චි කරන එක නවත්තන්න හේතු නෙමෙයි. මේවා හේතු වෙන්නෙ ඔයා ඒක පාවිච්චි කරන විදිහ ගැන පරිස්සමෙන් හිතන්න.
මම පාවිච්චි කරන ලේසිම ක්‍රමේ තමයි: මේකට මාර Fast, මාර Capable Collaborator කෙනෙක්ට වගේ සලකන එක. හැබැයි එයාට පැහැදිලි Instructions ඕනෙ, ඒ වගේම පොඩි Scepticism එකකුත් ඕනෙ. ඔයාට හරියටම ඕනෙ මොකක්ද, මොන ෆෝමැට් එකෙන්ද, මොන සීමාවන් ඇතුළෙද කියලා කියන්න. ඔයා කොච්චර Specific වෙනවද, Output එක එච්චරටම හොඳයි. ඕනෙම Tool එකකට මේක අදාළයි. හරියට කැඩිච්ච වලඳක් අලවනවා වගේ, කොතනින්ද කැඩුණෙ කියන එක හරියටම දැනගන්න ඕනෙ. AI කරන්නෙ හොඳ Instructions සහ නරක Instructions අතර තියෙන වෙනස අපිට හොඳටම පෙන්නලා දෙන එක විතරයි. 🧠
සෑම් ඔල්ට්මන් ලෝකෙට ChatGPT ගැන කියපු දවසෙමයි මටත් අවුරුදු 18 පිරුණේ. මගේ ඉස්සරහ අවුරුදු කීපය මේ Technology එක කොච්චර වෙනස් කරයිද කියලා මම එදා දැනන් හිටියෙ නෑ. මම ඒකත් එක්ක Build කරයි, ඒක Study කරයි, ඒක ගැන ආගියු කරයි, ඒක ඇතුළෙ මොකක්ද තියෙන්නෙ කියලා තේරුම් ගන්න ට්‍රයි කරයි කියලා මම හිතුවෙ නෑ. හැබැයි මගේ ඇතුළෙ තිබ්බ ඒ Curiosity එක කවදාවත් වෙනස් වුණේ නෑ. ඒක පටන් ගත්තෙ කරන්ට් එක නැති ගෙදරක තිබ්බ පෙට්‍රල්මැක්ස් ලාම්පුවකින්. බැරි ස්විච් දෙකක් ඉල්ලපු පොඩි එකෙක්ගෙන්. ස්විච් දෙක ලැබෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. ඒක 'ඕනෙ' කියන හැඟීම තමයි මාව ඉස්සරහට ගෙනාවෙ. 🔥
Pani Walalu: හරියට කන්දක් උඩ තනිවුණු බෝඩිමක සීතල රෑක බොන ඉඟුරු ප්ලේන්ටියක් වගේ, මේ AI කියන්නෙත් අපේ හිස්කම පුරවන්න ආපු රස්නයක්... ඒත් ඒ රස්නයෙන් පිච්චෙනවද, නැත්තම් පාර හොයාගන්නවද කියන එක තීරණය වෙන්නෙ අපේ අතේ. 🥃
Enjoyed this article?
Subscribe for new chronicles. No spam — just the good stuff.
Join the WhatsApp Channel
Get updates & new posts straight to your WhatsApp. No spam.
Comments
You Might Also Like

How I Ended Up Here
The story of how I balanced student life, discovered Ikigai, and built an AI startup. A personal journey of passion, automation, and finding my path at SLIIT.

The Automation Paradox
Why fear, not complexity, is the biggest threat to business. A look into the core of automation and the resistance holding companies back.

The Tekkeys Story: The Gods Creating the Gods
The origin story of Tekkeys, our dual mission, and our flagship AI Agentic System, AutoPost. Discover how we are building the pantheon of automation.